මහනාම සහ පියදාසගේ අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට

සැප් 09, 2019

    ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 20 ක අල්ලස් චෝදනා නඩුවේ සාක්ෂි විභාගය හෙට දින සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

    සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබිණ.

    එහිදී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට අදාළ සංශෝධිත චෝදනා පත්‍රයක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.සංශෝධිත චෝදනා පත්‍රය පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරු සදහන් කර සිටියේය.

    විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමකට අනුව නඩුවේ සාක්ෂි විභාගය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකාර ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාග රාජා මහතා ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාදය ඇතුලත් ඔහු සතුව තිබෙන ජංගම දුරකථන දෙකක් හෙට දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවන් විසින් ඉන්දියානු ජාතිකයාට නියෝග කර සිටියේය.

    2018 වසරේ මැයි මස නව දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමේ ගනුදෙණුවට ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකව අත්අඩංගුවට ගෙනු ලැබිණි. ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම් කර තිබේ. ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර ඇත.

     

    Latest News