update- රුහුණ දින නියමයක් නැතිව වසා දැමේ

ජූලි 10, 2019

    රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් ඊයේ දිනයේ වාර්තාවීම හේතුවෙන්.උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන සහ සියලු පීඨාධිපතිවරුන් අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත්තේ, සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බවයි.

    සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි. එහිදී සිසුන් ඊයේ දිනයේ අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තේ ය.

    රුහුණු සරසවියේ ආරක්ෂාව තර කෙරේ (පෙ.ව 8.00)

    රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමක් නිසා මේ වන විට සරසවියේ ආරක්ෂාව තර කර තිබේ. රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ගැටුම ඇතිවිය.

    එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙක්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙක් සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙක් මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් යොදවා තිබේ.

    Last modified on බදාදා, 10 ජූලි 2019 14:15

    Latest News