ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිටගේ අභියාචනය 10/11ට කල්යයි

ජූලි 10, 2019

    හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ඔක්තෝබර් මස 11 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම අභියාචනා අද දීපාලි විජේසුන්දර, සහ අචලා වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඬුල්ල නියෝග කළේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔක්තෝබර් මස 11 වැනිදා විභාගයට ගන්නා බවයි. එදින මෙම අභියාචනා වලට අදාලව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන වශයෙන් වාසියක් ලබා දීම සඳහා දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් මිලියන 600 ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. 

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු කොට ඔවුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබීය. ඊට අමතරව රුපියල් මිලියන 20ක දඩයක් ගෙවිය යුතු බවටත් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවටත් විනිසුරුවරයා විසින් විත්තිකරුවන්ට නියම කර තිබිණ.

    කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තමන්ට දඬුවම් පමුණුවා ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම චෝදනාවලින් සහ දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම අභියාචනා වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 10 ජූලි 2019 11:32

    Latest News