අළුත් අවුරුද්දේ ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත්කර ගනිමු - අගමැති

අප්‍රේ 14, 2019

    සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් පවසයි.

    අලුත් අවුරුද්ද කේන්ද්‍රකොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලුත් කරන බව කී අගමැතිවරයා, එබැවින් අලුත් අවුරුද්ද යනු මනුෂ්‍ය සමාජය තුළ ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කරගෙන නිර්මාණය වූවක් බවද පැවසීය.

    උතුරු – දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලුත් අවුරුද්ද අපේ ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් බවත් අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් බවත් එහි සඳහන් වේ.

    ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි අගමැතිවරයා හෘදයාංගමව සුභාශිංසන එක් කළේය.

    Last modified on ඉරිදා, 14 අප්‍රේල් 2019 08:13

    Latest News