හිඟ ඖෂධ ලේඛණයක් ඉදිරිපත් කරන ලෙසට, අගමැතිගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස්...

මැයි 25, 2022

    ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ සහ හිඟ ඖෂධ සම්බන්ධයෙන් ලේඛනයක් වහාම ඉදිරිපත් කරන ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෞඛ්‍ය  අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නා.

    ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණා. ඉන්දීය ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වටිනා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණා.

    අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියේ රජයන් 02 අතර සිදුවූ සාකච්ඡාවේදී ඊට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට එකඟතාව පළවූ බවයි. ප්‍රංශ රජය මගින් හෙට පරිත්‍යාග කිරීමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය මගින් දිවයිනේ සියලුම ශල්‍යාගාර දින 90ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.

    කඩිනමින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනයට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක්ද පත්කරුනු ලැබුවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බවත්, දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බවත් මෙහිදී  හෙළි කෙරුණා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රුවන් විජේවර්ධන, සාගල රත්නායක යන හිටපු අමාත්‍යවරන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News