ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒකමතික තීරණයක...

අප්‍රේ 21, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙනයාමේ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

    ඒ, අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී. රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු බව, පාර්ලිමෙන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් මෙම රැස්වීමේදී යෝජනා කරනු ලැබුවා.

    සියලු මන්ත්‍රීවරුන් ඊට ඒකමතිකව සහය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් මහතා විසින් මේ යෝජනාව ස්ථිර කරනු ලැබුවා. ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබාදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග එහිදී විෂයභාර අමාත්‍යවරුන් පැහැදිලි කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ, සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට පියවර ගෙන ඇති බවයි.

    ගෑස් සම්බන්ධයෙන් වන ගැටලුව ද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා. උද්ගතවූ තත්වයත් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්, අමාත්‍ය ධූරවලින් ඉවත්ව ලබාදුන් සහයෝගයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ස්තූතිය ද මෙහිදී පිරිනැමුණා.

    නවක අමාත්‍යවරුන්ට ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියා. ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙ‍ෙරහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් ක්‍රියාකරගෙන යන බවද, ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවද, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියා.

    සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව එක්ව සිටියා.

    Latest News