විමල් වීරවංශට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයකට යොමු කෙරේ

ජූලි 18, 2022

    අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කළා.

    ඒ, අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කරමින් ඔහුට නඩු පවරා තිබේ.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙසයි.

    නඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ලෙස සාක්ෂි හා ලේඛන ගොනු කර තිබේද? යන්න මෙම පූර්ව නඩු විභාගයේදී කරුණු සලකා බැලීමට නියමිතය.

    2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කොට ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

    Latest News