අභිනව ජනාධිපතිවරයා,තේරීමේ නාමයෝජනා කැඳවීම හෙට

ජූලි 18, 2022

    නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම, හෙට සිදු කෙරෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට රැස් වීමට නියමිතයි.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම් භාර නිලධාරියා ලෙස ක්‍රියා කරනවා. පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එසේ යෝජනා කරන අපේක්ෂකයා තේරී පත් වුවහොත්, ජනාධිපති ධුරයේ සේවය කිරීමට ඔහු කැමති බවට, ලිඛිත එකඟතාවක් ලබා ගත යුතුයි.

    නාම යෝජනා බාර ගන්නා දිනයේදී නම යෝජනා කෙරෙන අපේක්ෂකයා එදින අනිවාර්යයෙන් සභා ගර්භයේ සිටිය යුතු වනවා. අපේක්ෂක ධුරය සඳහා නමක් යෝජනා වූ පසු එය ස්ථිර කළ යුතු අතර, ඒ පිළිබඳ විවාද කිරීමට අවසර නැහැ. එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කරනු ලැබුවහොත්, එම මන්ත්‍රීවරයා ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලැබූ බව, එදිනම ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

    එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී ස්ථිර වන්නේ නම්, නාම යෝජනා බාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ ඒ බව සඳහන්.

    ඡන්ද විමසීම බදාදා පැවැත්වීමට නියමිතයි. පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

    Latest News