එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවෙකුට එරෙහි චෝදනා ගොනු කිරීම පිළිබඳ නියෝග ලබන 26

ජූලි 18, 2022

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්දයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ බොරු සාක්ෂි දුන් සුමතිපාල සුරේෂ් නැමැති හිටපු කොටි සාමාජික සාක්ෂිකරුට ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේ ද?

    යන නියෝගය ලබන 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුව අද සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ සිදු කළ ප්‍රකාශවලට පරස්පර අයුරින් මෙම නඩුවේ සාක්ෂි දුන් බව කියා සිටියා.

    එවැනි පරස්පර සාක්ෂි ඉදිරිපත් කළ අවස්ථා 40 කට වඩා වැඩි ප්‍රමාණයක් අනාවරණය කර ගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව සාක්ෂිකරු හිතාමතාම මෙම බොරු සාක්ෂි දීම සිදු කර ඇතැයි කියා සිටියා.

    එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වන වගන්තිය යටතේ මෙම සාක්ෂිකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    අදාළ සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එවැනි චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීමට සාක්ෂිකරු සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    ඒ අනුව මෙම කරුණට අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළ විනිසුරු මඩුල්ල මෙම සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තිබේ ද? යන කරුණ පිළිබඳ නියෝගය ලබන 26 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා.

    එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ..

    2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

    Latest News