ආගමන හා විගමන නිලධාරීන්ට විමල්ගෙන් නඩුවක්

අගෝ 12, 2024
    ඉකුත් යහපාලන රජය සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නීතිපතිවරයා ඇතුළු ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා.

    එහි විත්තිකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    නීතිඥ දිනේෂ් සිල්වා මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සම තුළින් විමල් වීරවංශ මහතා කියා සිටින්නේ 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවති සම්මන්ත්‍රණ වලට සහභාගි වීම සඳහා ඩුබායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවයි.
    පසුව විදේශගතවීම සඳහා තමා රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ අතර එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්‍රිය ගුවන් බලපත්‍රයක් බව ප්‍රකාශය කළ බවත් පැමිණිලිකරු සඳහන් කළා.
    ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පැමිණිලිකාර විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.
    මීට අදාලව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කෙරුණු නඩුව වසර 09 කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් අනතුරුව තමන්ව සියලු චෝදනාවලින් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ බව පෙන්වා දෙන පැමිණිකාර විමල් වීරවංශ මේ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදුවූ බව සඳහන් කළා.
    සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තුළින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු ඇමති විමල් විරවංශ මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News