ඇස්ට්‍රාසෙනෙකා 2වැනි මාත්‍රාව තවත් එක් ලක්ෂ 16,664 දෙනෙකුට

අගෝ 04, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව එක් ලක්ෂ 16,664 දෙනෙකුට ඊයේ ලබාදී තිබේ. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද සිව් වැනි දිනටත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන්නේ, ඉකුත් පළමුවැනිදා සිටයි. මේ දක්වා ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව තුන් ලක්ෂ 70,761ක්.

    බස්නාහිර පළාත තුළ එම එන්නත ලබාදීම ලබන 6 වැනිදා දක්වා සිදු කෙරේ.

    විහාරමහාදේවි උද්‍යානයේ එන්නත්කරණ වැඩසටහන අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. යුද හමුදාවේ දායකත්වයෙන් පැය 24 පුරා එන්නත් ලබා දෙයි. පැමිණෙන ජනතාවගේ මානසික සුවය උදෙසා යුද හමුදාව සංගීත ප්‍රසංග ද සංවිධාන කර තිබේ.

    බත්තරමුල්ල දියතඋයන පරිශ්‍රයේ ද එන්නත්කරණය පැය 24 පුරා ක්‍රියාත්මකයි. එහි කටයුතු සිදු කෙරෙන්නේ ද යුද හමුදාවේ මූලිකත්වයෙන්. තම එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා බොහෝ පිරිසක් එහි පැමිණෙන ආකාරය දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ද සාර්ථකව ක්‍රියාත්මකයි.

    බස්නාහිර පළාත තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 94.06කට,කළුතර දිස්ත්‍රික්කයේ සියයට 87.37කට සහ කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 83.28කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.

    සෞඛ්‍ය අංශ පවසන්නේ,සියයට 75කට වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 14ක ජනතාවට ලබාදී ඇති බවයි.


    ඒ ගාල්ල,මාතර,හම්බන්තොට,කුරුණෑගල,පොළොන්නරුව,මහනුවර,මාතලේ,නුවරඑළිය,රත්නපුර,බදුල්ල,අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික් සඳහායි.

    Latest News