වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවක් ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

අගෝ 04, 2021

    2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවේ 14 වැනි විත්තිකරු වශයෙන් නම්කර තිබෙන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

    එම නඩුව අද චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ 14 වැනි විත්තිකරු වශයෙන් නම්කර තිබෙන, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා තමන්ව මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බවත් ඒ අනූව ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් සඳහන් කළේය.

    එම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන 30 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බවත් ප්‍රකාශ කළේය.

    ඒ අනූව අදාල විත්තිකරුට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට උපදෙස් දුන්නේ නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය අභියාචනාධිකරණය හමුවේ මීළඟ නඩු දිනය දැනුම් දෙන ලෙසයි.

    ඉන් අනතුරුව අභියාචනාධිකරණය විසින් කරනු ලබන නියෝගය තම අධිකරණයට දැනුම් දෙන ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

    මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු සිටින හෙයින් එම විත්තිකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවක නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය දැනුම් දීම සුදුසු බවයි.

    අනතුරුව මෙම නඩුව සැප්තැම්බර් මස 22 වැනිදා කැඳවීමට නියම විය.

    2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා සාමාජිකයින් දාහතර දෙනකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.

    Latest News