ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය දිවයිනට

ජූලි 31, 2021

    කොවැක්ස් පදනම යටතේ ලංකාවට තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 7 ලක්ෂ විසි අට දහස් හාරසිය හැටක් (728,460) අද (31) දින පස්වරු 5.10ට ජපානයේ නරීටා ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලංකා ගුවන්සේවයට අයත් යූඑල් 455 දරණ ගුවන්යානයෙන් දිවයිනට ගෙන එනු ලැබීය.

    එන්නත් තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි සිටියාය. මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතා විසින් සිදු කෙරිණ.

    මෙම එන්නත් තොගයෙන් මාත්‍රා හාර ලක්ෂ අනූ දහසක් (490,000) දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටි අයවලුන් වෙත ලබාදීමට කටයුතු කරනු ලබන අතර ඉතිරි මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙලට ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    එමෙන්ම ඉදිරි සතියේ දී තවත් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 727,380ක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය මහේන්ද්‍ර ආනර්ල්ඩ් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් හොෂියායි විහාරු යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    Latest News