ඇමති විමල් වීරවංශ සහ මාධ්‍ය ආයතන තුනකට වාරණ නියෝගයක්

මාර් 16, 2021

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

    අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං සමාගම, සහ ඊ.ඒ.පී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මෙම වාරණ නියෝගය බල පැවැත්වෙනවා.

    නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් 09 වන දා කොළඹ පැවති "ඉස්ලාම් අන්තවාදය සහ පාස්කු කොමිසමෙන් ඔබට" නමැති සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන් කළා.

    ඒ තුළින් තම කීර්තිනාමයට හානියක් සිදු වූ බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරන්නේ.

    එම ප්‍රකාශය වගඋත්තරකාර මාධ්‍ය ආයතනය මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරයට පත් කෙරුණු බව පෙන්වා දුන්‍ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඒ තුළන් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව සඳහන් කළා.

    ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදුකරන ද්වේශ සහගත හා අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ හෝ ප්‍රචාරයට පත් කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණා.

    එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳව විභාගයට අදාළ නොතිසි ද වගඋත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළා.

    Latest News