රංජන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නයි නීතිපතිවරයාගෙන් විරෝධතාවක්

මාර් 16, 2021

    සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා.

    අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සදහන් කළේ පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය රිට් ආඥාවක් මගින් ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාව නොමැති බවයි.

    මෙම පෙත්සම තුළින් අභියෝගයට ලක් කරනූ ලබන කරුණු රිට් අධිකරණ බලය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි අයුරින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කරන බවද සදහන් කළා.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ද තීන්දු කර ඇති බවයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ.

    අනතුරුව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී වසර 04 ක් සිර දඬුවම් නියම වීමෙන් පසුව තම සේවාදායකයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීය නොහැකි බවට මතයක් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දන්වා යැවූ බව පැවසුවා.

    නීතිපතිවරයාගේ මෙම මතය නීතියට පටහැනි යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා තම සේවාදායකයා වරදකරු කර දඩූවම් නියම කළ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් නොවන බව පෙන්වා දුන්නා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තියට අයත් අධිකරණයට අපහාස කිරීමේ වරද අපරාධමය වරදක් යටතට ගැනෙන දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ කථනය කර නොමැති බව ද මෙහිදී ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

    ඉන් අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වයේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම මේ මස 18 වන දා තෙක් කල් තැබුණා.

    රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් නොගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් දැනටමත් නිකුත් කර තිබෙන නියෝගය ඊළඟ නඩු දිනය දක්වා දීර්ඝ කළ බව ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    Latest News