කුණු රස මාධ්‍යයට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රහාරයක්

ඔක් 24, 2018

    ආසියාවේ හොදම තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් මාධ්‍යවේදීන්ගේ මූල්‍යාශ්‍ර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ගාල්ල මහින්ද විද්‍යාලයේ අභිමන 2018 මාධ්‍ය දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා....

    අද මාධ්‍යයේ අපි දකින අපිට නොගැලපෙන දේ වෙනස් කිරීම තමයි මේ දරුවන්ගේ අරමුණ විය යුත්තේ.

    මාධ්‍ය වෙනස් කිරීමට හිතාගෙන මාධ්‍ය ඇතුළට ගියාම ඒ ඒ ආයතනවල තිබෙන ව්‍යාපාරික, දේශපාලනික අරමුණු එක්ක ඒ දේවල් බලාපොරොත්තු වෙන තරමින්ම වෙනස් කිරීමට නොහැකි වෙන්න පුලුවන්.

    සමහර නිවේදකයින් අද කොට කලිසමක් ඇදගෙන ඇවිත් නිවේදනය කරනවා. මේක වෙනසක් තමයි. හැබැයි ඒ වෙනස හොද වෙනසක්ද? නළුවෙක්ට ඒ විදියට රගපාන්න පුලුවන්. හැබැයි නිවේදකයෙක් මේ විදියට හැසිරෙන්න ඕනද කියන ප්‍රශ්ණය අපි හමුවේ තිබෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙන්න ඕන තමයි. හැබැයි හොද විදියට තමයි අපි වෙනස් වෙන්න ඕන. රොස්මන්ඩ් සේනාරත්න මහත්තයා වගේ අය ඒ කාලේ එක එල්ලේ සිටිමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. 

    ව්‍යාපාරිකයෝ තමයි ජනතාව ඉල්ලන හැම දේම දෙන්නේ. මාධ්‍යයෙන් විහිළු තහළු ඉල්ලන විට ඒවා සෑම විටම ලබාදීම නෙමෙයි මාධ්‍යය කළ යුතු වන්නේ. කුණු රසය අවුස්සන දේවල් ලබාදීම නොවෙයි මාධ්‍යයේ වගකීම වෙන්නේ. මාධ්‍ය කියන්නේ මේ සමාජයේ පෙරගමන්කරුවෙක්. මාධ්‍යවේදියා සමාජයේ ඉදිරියෙන් සිටින අයෙක් විය යුතුයි.

    අද රටේ තත්වය ගත්තාම බොහෝම නිදහස් මාධ්‍යයක් තිබෙනවා. මාධ්‍යවේදියා ආරක්ෂා කිරීමට, මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාගැනීම සදහා ආසියාවේ හොදම තොරතුරු දැනැගැනීමේ පනත ඉදිරිපත් කරලා තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර ආරක්ෂා කිරීම සදහා ප්‍රතිපාදන සකස් කර තිබෙනවා. මේ කලාපයේ මාධ්‍ය නිදහස හොදින්ම ආරක්ෂා වෙන රටක් තමයි ලංකාව කියන්නේ. රට හරි දිශාවකට ගෙනයන්න ඕන කියලා හිතන්නේ නැති අය මේ නිදහස වල්බූරු නිදහසක් බවට පත් කරගත්ත අවස්ථා තිබෙනවා. ඇතැම් අවස්ථාවල තමන්ගේ දරුවන් එක්ක එකට ඉදගෙන රූපවාහිනිය බැලීමට නොහැකි තත්වයන් ඇතිවී තිබෙනවා. දරුවෝ එක්ක එකට වාහනයක ගමන් කරන විට ගුවන්විදුලියකට ඇහුම්කන්දීමට අපහසු අවස්ථා තිබෙනවා. දේශපාලඥයින්ට, කලාකරුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට කිසිම පදනමක් නැතිව බනිනවා. මේකේ වැරැද්ද නිදහස ලබාදීම නොවෙයි, නිදහස බුක්ති විදීමට නොදන්නාකමයි වැරැද්ද. 

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 14:57

    Latest News