සංචාරකයින්ගෙන් මෙරට ජනතාවට කොවිඩ් බෝවීමේ අවදානමක් නෑ..සංචාරක ඇමති

දෙසැ 30, 2020

    මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට ‍කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් ඔවුන් පිළිබඳ ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පූර්ව සූදානමක් ඇති බවත් ඒ අනූව යුක්‍රේනයෙන් පැමිණි කොවිඩ් ආසාදිත බව තහවුරු වූ සංචාරකයන් තිදෙනා පිළිබඳ ඉදිරි පියවර සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙන ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්වය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ ‍නියාමන ව්‍යාපෘතියට කිසිඳු බාධාවක් ඇති නොකරන බවයි.

    පෙරේදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් 180 දෙනාගෙන් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වීම පිළිබඳව අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා..

    සංචාරකයන්ට අපි රට විවෘත කරන්න තීරණය කළේ මෙවැනි තත්වයකට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් ඇතිවයි. සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය අපි සකස් කරලයි තිබුනේ. මෙරටට පැමිණීමට පෙර මෙම සංචාරකයන් පූර්ව පීසීආර් පරීක්ෂාවකට ලක් කළා.

    එහිදී ඔවුන් ආසාධිත බව තහවුරු වී තිබුණේ නැහැ. ඉන් පසුව ලංකාවට ආවාම නැවත පීසීආර් පරීක්ෂාවට ලක්කළා. එයින් තමා තහවුරු වුනේ තිදෙනෙක් පොසිටිව් කියලා. දැන් ඒ අය සම්බන්ධව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගෙනතිබෙනවා. ඉතා වගකීමෙන් කියන්නේ මේ පැමිණෙන සංචාරකයන් මෙරට වැසියන් සමග සම්බන්ධ වන්නේ නැහැ. ඒ නිසා මෙරට වැසියන්ට සංචාරකයන්ගෙන් රෝගය බෝවීමේ අවධානමක් නෑ.

    මේ සංචාරකයන් පැමිණෙන හෝටල්වල සේවකයන් පවා අදාළ හෝටල්වලින් සංචාරකයන් පිටව ගිය පසු දින 14ක් නිරෝධායනය කර පීසීආර් පරීක්ෂාවකට ලක්කරනවා. සංචාරකයන් හෝටල්වල රැඳී සිටින කාලය තුළත් එම හෝටල් සේවකයන්ට ඉන් පිටව යාමට නොහැකියි. මේ තත්වයට අපි සූදානමින් සිටියේ. ඒ නිසා සංචාරකයන් ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියට කිසිම බාධාවක් නෑ. සැලසුම් කර පරිදි එය ක්‍රියාත්මක වෙනවා..

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 19:09

    Latest News