ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු තිනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අවසන්වෙයි

මාර් 14, 2022

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ අවසන් වුණා.



    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගැනීමට තැත් කළේ යැයි චෝදනා කරමින්
    ඉකුත් යහපාලන රජය සමයේ දී ගොනු කෙරුණු මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කරන බව දෙපාර්ශවය අධිකරණයට දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි මස 31 වනදා ගොනු කරන ලෙස විනිසුරුවරයා විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා.

    2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

    Latest News