ඉයක්කච්චි නිවසක සිදුවූ පුපුරායාම ගැන රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවයි (වීඩියෝ)

ජූලි 06, 2020
  • පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෙකු කිලිනොච්චි, ඉයක්කච්චි ප්‍රදේශයේ සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී පුපුරායාම පිළිබඳව රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අංශ පවසයි.

    ඉකුත් 04 වැනිදා සිදුවූ එම පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චි රෝහලෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

    ටින් එකක් සහ ප්ලාස්ටික් බඳුන් කිහිපයක් යොදා ගනිමින් මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයා බෝම්බ තැනීමට උත්සාහ දරා ඇති බව, මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. පිපිරීමෙන් පසු ගෙවත්තේ කසල වලකට විසිකර දමා තිබූ නිෂ්පාදිත බෝම්බ දෙකක් සහ “කළු කොටි දිනය සමරමු“ ලෙස සඳහන් බැනරයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ආරක්‍ෂක අංශ විසින් සොයාගනු ලැබීය.

    යුද හමුදාව පවසන්නේ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ පුපුරා ගිය බෝම්බ සහ මෙහි නිෂ්පාදත බෝම්බවල යම් සමානකමක් ඇත්ද යන්න රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවකින් දැනගත හැකිවනු ඇති බවයි. ගුරුවරියක් ලෙස සේවය කර ඇති ඔහුගේ බිරිඳ, ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන් පසු ප්‍රදේශයේ නිවාස රැසක් යුද හමුදාවේ සහ පොලිසියේ පරීක්‍ෂාවට ලක්විය. පලෙයි පොලිසිය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ යුද හමුදාව එක්ව විමර්ශන ක්‍රියාත්මක කරයි.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:14

    Latest News