කිසිදු සංවර්ධනයක් නොකළ එජාපයට නැවත බලය ඉල්ලීමට අයිතියක් නැහැ - අගමැති මහින්ද (වීඩියෝ)

ජූලි 06, 2020
  • ඉකුත් එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් සිදු නොවූ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එබැවින් එම පක්‍ෂයට නැවත ආණ්ඩු බලය ඉල්ලීමට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ අම්බලන්තොට පැවති ජන හමුවකදී. ජනහමුවට පැමිණි අග්‍රාමාත්‍යවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.

    අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ තවත් ජනහමුවක් ඊයේ සවස පැවැත්වුණේ, හම්බන්තොට සිංගප්පූරු ශාලාවේදී. එහිදී අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ද අදහස් දැක්වීය.

    තවත් ජනහමුවක් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්විණ. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් පිරිසක් ද මීට එක්ව සිටියහ.

    අග්‍රාමාත්‍යවරයා මැදමුලනේ දී අද පැවති ක්‍රියාකාරී හමුවකට ද එක්විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද තවත් ජනහමුවක් පැවැත්වුණේ වීරකැටිය ප්‍රදේශයේදී. ඔහු එහිදී කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා සත්‍ය වශයෙන් ස්වාධීන ද නැද්ද යන්න ගැටලුවක් පවතින බවයි. ඉදිරියේ දී ඉතා ඉහළ මට්ටමකින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:06

    Latest News