එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත්.පී පෙරේරා - සරත් ෆොන්සේකා ඉවතට

ජන 30, 2020

    එක්සත් ජාතික පක්ෂයේ 2020 කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අජිත් පී පෙරේරා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා යන මන්ත්‍රීවරු පත් නොකෙරෙන බව, පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් පක්ෂ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත එම පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    එක්සත් ජාතික පක්ෂ 2019 කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය ඉකුත් දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. ඒ අනූව, නව සාමාජිකයන් පත් කිරීම අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සිදු කිරීමට නියමිතයි. පක්ෂ නායකත්වය පිළිබඳ ගැටලුව, නව සන්ධානය ගොඩ නැගීම, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරෙන බවයි, වාර්තා වන්නේ.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී ඊයේ පවත්වා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, සන්ධානයේ ලේකම් ධුරයට තමාගේ පාර්ශවයේ අයෙකු පත් කළ යුතු බවයි. ඒ සම්බන්ධ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගැනීමට අපේක්ෂිතයි. පක්ෂ නායකත්වය පිළිබඳ ඡන්දයක් පැවැත්වීමේ ඉඩකඩ ද පවතින බව, පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවහොත්, වත්මන් නායකතවයට බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි බවට ද මත පළ වෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වන්නේ අද සවස 3.00ටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 12:10

    Latest News