ගුණාත්මක බවින් ඉහළ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ජාතික රූපවාහිනියේ වගකීම සිහිපත් කළ අමාත්‍ය බන්දුල (වීඩියෝ)

දෙසැ 31, 2019
  • ගුණාත්මක බවින් ඉහළ මාධ්‍ය සංස්කෘතියක් සඳහා දායකවීම ජාතික රූපවාහිනියේ වගකීම බව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අද(31) හදිසියේ පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    රූපවාහිනි සංස්ථාවට පැමිණි අමාත්‍යවරයා සංස්ථාවේ සේවකයින් විසින් පිළිගනු ලැබිණි. ඉන් අනතුරුව රූපවාහිනි සංස්ථාව සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් හා සෙසු නිලධාරින් සමඟ ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක නිරත විය. පසුව සංස්ථාවේ සේවකයින් මුණගැසුනු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඔවුන් සමඟ සුහඳ පිළිසදරක නිරත විය.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

    “මෙය රජයේ ජනසන්නිවේදන මාධ්‍ය ආයතනය උවත් ජාතියෙ ජනතාවගේ සිතුම් පැතුම් අනුව පක්ෂ විපක්ෂ සියලු ම දේශපාලන සංවිධානවල මතවාදයන්ට ඉඩ තිබෙන මාධ්‍ය සංස්කෘතියක් සඳහා සදාචාර සම්පන්න ඉහළ ගුණාත්මක අගයකින් යුත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජාතික රූපවාහිනිය දායක වෙන්ට කියලා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නට කැමතියි. 2020 මේ රට වැඩ කරන රටක් බවට පරිවර්තනය කළ යුතු වෙනවා. වැඩියෙන් වැඩ කිරීම තුළින් පමණයි රටකට සෞභාග්‍ය ලබා කරගත හැක්කේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය තුළදී මේ මහා දැවැන්ත සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනය සඳහා පෙරගමන්කරුවෙක් ලෙස ක්‍රියා කරන්න ජාතික රූපවාහිනියටත් අලුතින් පත්වූ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සුබ නව වසරක් වේවා.” යැයි ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:03

    Latest News