ජනමාධ්‍යයට විශිෂ්ටයින් බිහිකිරීමේ පාඨමාලාව ඇරඹේ

මාර් 22, 2021

    ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට දක්‍ෂතාවලින් පිරි විශිෂ්ටයින් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ක්‍රියාත්මක කරන පාඨමාලාවට නවක සිසුන් ඇතුලත් කර ගැනීම අද (22) ආරම්භ කෙරිණ.

    සමාරම්භක උත්සවය රූපවාහිනී මැදිරි අංක 3දී අද උදේ පැවැත්වුණේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

    රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති නිවේදනය, කැමරාකරණය, ආලෝකකරණය ඇතුළු පාඨමාලා සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් අයදුම්පත් ඉදිරිපත් කර තිබිණ.

    ඒ අතරින්, සම්මුඛ පරීක්‍ෂණ සහ තිර පරීක්‍ෂණවලදී සුදුසුකම් ලැබූ සිසුන් 150 ක් අදාළ පාඨමාලා සඳහා තේරා ගෙන තිබේ.

    පාඨමාලා ආරම්භය සම්බන්ධ ලේඛන අමාත්‍යවරයා අතින් සිසුන් වෙත මෙහිදී සංකේතාත්මකව ප්‍රදානය කෙරිණ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරු සහ පාඨමාලා අධ්‍යක්‍ෂවරුන් වන රූපවාහිනි සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ අධ්‍යක්‍ෂ එරින් විජේකෝන්, ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී රංජන් ගුරුසිංහ යන මහත්ම-මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    අනතුරුව රජයේ ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් රූපවාහිනී සංස්ථාවට බාහිර නිෂ්පාදන කටයුතු සඳහා මිලදී ගෙන ඇති පූර්ණ එච්.ඩී. තාක්‍ෂණයෙන් යුත් කැමරා පද්ධති 6 සහ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මිලදී ගන්නා ලද ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    1982 න් පසු රූපවාහිනී සංස්ථාවට කැමරා පද්ධතියක් රජයේ මුදලින් මිලදී ගැනුණේ, 1991 වසරේ සාෆ් ක්‍රීඩා උළෙලේ විකාශන සඳහායි.

    පසුව, 1998 දී ජපානයේ ප්‍රදානයක් ලෙස රූපවාහිනි සංස්ථාවට බාහිර විකාශන කටයුතු සඳහා ඇනලොග් තාක්‍ෂණයෙන් යුත් කැමරා හිමිවිය.

    ඒ අනුව රජයේ ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් පූර්ණ එච්.ඩී. තාක්‍ෂණයෙන් යුත් කැමරා පද්ධති 6ක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මෙවර ලැබී තිබෙන්නේ, වසර 22කට පසුවයි.

    අධි තාක්‍ෂණයෙන් යුත් මෙම කැමරාවල වටිනාකම රුපියල් මිලියන 110ක්. ප්‍රවෘත්ති නිෂ්පාදනය, ක්‍රිකට් තරග, සංගීත සංදර්ශන ඇතුළු බාහිර නිෂ්පාදන කටයුතු සඳහා මෙම කැමරා පද්ධති භාවිත කෙරේ.

    Last modified on සදුදා, 22 මාර්තු 2021 20:19

    Latest News