SLFP සභාපති ධූරය ගැන අභියාචනා පෙත්සමකට අනුර යාපාට නොතීසි

සැප් 04, 2019

    ශ්‍රීලනිප සභාපති ධූරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කළ අභියාචයකට ලබන 27 දා කරුණු දැක්වන්නැයි පා.ම. අනුර යාපාට නොතීසි නිකුත් කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය පසුගිය දා තීන්දුවක් ලබා දී තිබේ. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනයක් සලකා බැලූ බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාට මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 27 වනදා කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කර ඇත.

    බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත ඇතුළු දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම මනිලාල් වෛද්‍යතිලක සහ ප්‍රදීප් කීර්තිසිංහ යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ සභාපති ධුරය දැරිය හැක්කේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයෙකුට පමණක් බව පෙත්සම්කරුවෝ කියා සිටිති. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයෙකු නොවන හෙයින් ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීමට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසුකමක් නොමැති බව බැවින් එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තමන් මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සම්කරුවන් මේ නඩුව ගොනු කර තිබේ. එහෙත් එම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කර ඇත.

    කොළඹ දිසාඅධිකරණය විසින් දුන් තීන්දුව නීතිවිරෝධී හා බලරහිත බවට තීන්දු කොට අදාළ පෙත්සම නැවත විභාගයට ගන්නා ලෙස එම අධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Latest News