සංශෝධිත දිවුරුම් ප්‍රකාශයකට පොලිස්පතිට ඇති හැකියාව ගැන අධිකරණය දැනුවත් කරන්නැයි නීතීඥවරයාට උපදෙස්

සැප් 05, 2019

    ඊයේ දින නීතිපතිවරයා විසින් දැඩි විවේචනයට භාජනය කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ලබන 25 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුන්නේය.

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඊයේ සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විරෝධතාවක් මතුකරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එහිදී නීතිපතිවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ එක්ව තමා පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩුවක් ගෙතීමට කුමන්ත්‍රණය කර තිබෙන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව තිබෙන බවයි. එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය , ද්වේශසහගත සහ අපහාසාත්මක බව සඳහන් කළ නීතිපතිවරයා එබැවින් එම දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අදාළව ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේ මෙම කාරණය මෝසමක් මාර්ගයෙන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

    ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අදාළ මෝසම අධිකරණයට ඉදිරිපත් කර ලදී.

    ඒ පිළිබඳව කරුණු සලකා බැලීමෙන් පසුව වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පොලිස්පති වරයාගේ ප්‍රශ්නගත දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට වෙනත් අධිකරණ වල ද නඩු කටයුතු පවතින හෙයින් එවැනි සංශෝධනයක් සිදු කළොත් ඔහුට යම් අගතියක් සිදු විය හැකි බවයි.

    එහෙත් ප්‍රශ්නගත කරුණු මත පදනම්ව දේශන ඉදිරිපත් නොකිරීමට තමා වගබලා ගන්නා බවද නීතිඥ කොරයා මහතා සඳහන් කළේය. එහිදී ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා කරුණු දක්වමින් නඩුවක ඕනෑම පාර්ශවයක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකිරීමට වගබලාගත යුතු බව සඳහන් කර සිටියේය. මෙහිදී පොලිස්පති වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා සඳහන් කර සිටියේ සංශෝධිත දිවුරුම් ප්‍රකාශ සහ විරෝධතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමාට සිය සේවාදායකයා ගෙන් උපදෙස් ලබාගත යුතු බවත් ඒ සඳහා කාලය ද අවශ්‍ය බවයි.

    ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ස්ථාවරය ලබන 25 වනදා අධිකරණය වෙත දැනුම් දෙන මෙන් නීතිඥ විරාන් කොරයා මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. ඉන් අනතුරුව අදාල පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් තම සේවාදායකයා කිසිදු ආකාරයක මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවයි. එබැවින් නොසැලකිලිමත් ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්ම තම සේවාදායකයාට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර නොදී නිෂ්ප්‍රභ කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් කරන බවට විදේශීය රටකින් ලැබෙන බුද්ධි තොරතුරක් ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් තම සේවාදායකයා වෙත යොමු කළ බවත් පසුව තම සේවාදායකයා එම තොරතුරු අඩංගු ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේය.

    ඊට අමතරව මෙම ප්‍රහාරයට අදාළ කිසිදු බුද්ධි තොරතුරක් තම සේවාදායකයාට ලැබී නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ. අප්‍රේල් මස නව වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ද ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් ඉදිරිපත් නොකළ බවද ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේය.

    ජාතික බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දෙන බවට එම බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය දිවුරුම් පෙත්සමෙන් සඳහන් කර තිබුණත් එය වැරදි සහගත බවයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ. ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා කිසිදු අවස්ථාවක ආරක්ෂක ලේකම්වරයා වෙත බුද්ධි තොරතුරු වාර්තා කිරීමක් නොකරන බවත් ඔහු එම තොරතුරු ලබා දෙන්නේ සෘජුවම ජනාධිපතිවරයාට පමණක් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා සාමාන්‍ය බලතල සහිත අමාත්‍යාංශ ලේකම්වරයෙකු පමණක් බව කියා සිටියේය.

    මෙහිදී අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු වරින්වර ප්‍රශ්න මතු කරමින් ප්‍රහාරයට ආසන්නතම අවස්ථාවක පවා බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි දැයි ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේ එවැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම සේවාදායකයාට පුළුල් බලයක් නොමැති බවයි.

    ආරක්ෂක ලේකම්වරයාට ස්වාධීනව ක්‍රියා කිරීම සඳහා බලතල නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඔහු ක්‍රියා කරන්නේ ආරක්ෂක අමාත්‍යවරයාගේ විධානයට යටත්ව බව ද සඳහන් කළේය.විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මෙහිදී ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් මස 09 වනදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමෙන් පසුව තවත් බුද්ධි සමාලෝචන රැස්වීම පවත්වා තිබේදැයි ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතාගෙන් විමසා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ එවැනි බුද්ධි සමාලෝචන රැස්වීමක් අප්‍රේල් මස 09 වනදාට පසුව පවත්වා නොමැති බවයි.

    එම අවස්ථාවේ නැගී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අප්‍රේල් මස 16 වනදා බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුනත් නෙදර්ලන්ත සංචාරයක් හේතුවෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් එය අවලංගු කළ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාර පිළිබඳව නීතිපතිවරයාගේ මෙහෙයවීමෙන් යටතේ සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙම ප්‍රහාරයේ වගකීම තම සේවාදායකයා මත පැටවීම යුක්ති සහගත නොවන බවත් ඊට අමාත්‍ය මණ්ඩලයම වගකිව යුතු බවත් සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 25වනදා ට කල් තැබිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 16:32

    Latest News