ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ චෝදනා දෝෂ සහිත කියු පෙත්සම ඉවතට (වීඩියෝ)

සැප් 11, 2019

    ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

    හම්බන්තොට මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බව එම පෙත්සමේ සඳහන් කර ඇත. ඒ අනුව එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ. නමුත් එය විභාගය කරන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාවයෙන් එය ප්‍රතික්ෂේප කිරීමට නියම කෙරිණ.

    එම පෙත්සම සලකා බැලීම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සිදු කෙරිණ.

    ඉන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාවය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සදහන් කර ඇත.

    එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

    එම නඩුවට අදාළව විත්තිකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණ චෝදනා දෙකක් එල්ල කර ඇති බවත් එම චෝදනා එල්ල කර ඇති ආකාරය දෝෂ සහිත බවත් මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර තිබේ. එමෙන්ම චෝදනා අපැහැදිලි තත්වයක පවතින බව ද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් අදාළ නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහිත බවට විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ නඩුවේ චෝදනා අපැහැදිලි බවට විත්තිය විසින් නගන තර්කයද පදනම් විරහිත බවයි ඔහු සඳහන් කළේ.

    මෙම නඩුවේ පළමුවන චෝදනාව වන කුමන්ත්‍රණ චෝදනාව නඩුවේ විත්තිකරුවන් හත් දෙනාටම අදාල වන බව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කර තිබේ. එම කුමන්ත්‍රණ චෝදනාවට පදනම් වන කාලසීමාව චෝදනා පත්‍රයේ නිශ්චිතව දක්වා තිබෙන හෙයින් ඒ තුළ කිසිදු අපහැදිලි තත්ත්වයක් නොමැති බවයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවන්ගේ එකඟත්වය මත පෙත්සම විභාග කිරීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 09:58

    Latest News