බොරැල්ල OIC අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථයේ රියැදුරුට ඇප

සැප් 05, 2019

    අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැදවනු ලැබීය. එහිදී විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාර දීමත් සිදු නොවූ අතර විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේ. අනතුරුව නඩුව දෙසැම්බර් මස 19 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.

    ඉකුත් පෙබරවාරි මස 24 වන දින බම්බලපිටිය පොලිස් වසම තුළ විත්තිකරු විසින් අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුවඔහු මියගොස් තිබිණ.

    අනතුර සිදු කිරීමෙන් පසුව විත්තිකරු තවත් පිරිසක් සමග සිය වාහන ද රැගෙන පළා ගොස් තිබූ බවයි පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ. මේ අනුව පරික්ෂාකාරී ලෙස රිය පදවා සාවද්‍ය මිනී මැරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නමිදු උමේෂ් රත්නායක නැමැති මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 14:09

    Latest News