භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

නොවැ 21, 2022

    ‍අද දින ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයට බලපෑ භූකම්පනය හේතුවෙන්  පුද්ගලයින් විසිදෙනෙකු මිය ගොස්, තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනව බව, එරට බලධාරීන් පවසනවා.

    භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉස්ලාමීය පාසලක්, රෝහලක් සහ අනෙකුත්  පොදු ස්ථාන සහ යටිතලපහසුකම් රැසකට හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    මිය  ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි, එරට බලධාරීන් පවසන්නේ. තුවාල ලැබූ බොහෝ දෙනෙකු ගොඩනැගිලිවලට යට වීම හේතුවෙන් අස්ථි බිදීම් සිදුව ඇති බව එරට බලධාරීන් පවසනවා.

    ලැබී ඇති වාර්තාවලට අනුව‍ භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.6 ක් බවයි, රොයිටර් පුවත් ඒජන්සිය  වාර්තා කළේ. එක්සත්ජනපද භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය, මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.4 ක ප්‍රබලත්වයක් සටහන් කර තිබෙනවා.  භූකම්පනය ඇති වීමත් සමග මහල් නිවාසවලින් සහ කාර්යාලවල සිටින පුද්ගලයින් පිටතට දිව ගිය බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ.                                            

    ඉන්දුනීසියානු  භූ විද්‍යා සහ කාලගුණික ඒජන්සිය පවසන්නේ, සුනාමි තත්වයක් ඇති වීමේ හැකියාවක් නොමැති බවයි. බටහිර ජාවාහි, සියන්ජුර් ප්‍රදේශයේ කිලෝමීටර 10 ක් ගැඹුරින් භූකම්පනය හට ගෙන තිබෙන බවයි, වාර්තා වන්නේ.

    එරට බලධාරීන් වාර්තා කරන්නේ, භූකම්පන හේතුවෙන් ජකර්තා සිට කිලෝ මීටර 180 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශය සුළු නායයෑමක් ඇති වූ බවයි. එරට බලධාරීන් පවසන්නේ, සිදුවූ හානිය පරික්‍ෂා කරමින් සිටින බවයි.

    Latest News