දූෂණ විරෝධී පියවර අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි - චීන ජනපති

ජූනි 18, 2022

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය දූෂණය පිටුදැකීමේ අරගලය පිළිබඳ සාමූහික අධ්‍යයනයක් සිදුකරයි.  

    ‘නිලධාරීන් දූෂණයට බියවීම සහ දූෂණ ක්‍රියාවන්ට ඉඩක් මෙන්ම ආශාවක් ද නොමැතිවීම’ යන මැයෙන් වූ මෙම අධ්‍යයනය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පැවැත්විණ.  

    දූෂණ මර්දන සටන සම්පූර්ණ ජයක් තහවුරු කර තිබුණ ද එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක පවතින බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‘ශුන්‍ය සමාව’ සංකල්පයට අනුකූලව විවිධ ක්ෂේත්‍රවල දූෂණ විරෝධී සටන් ඉදිරියට මෙහෙයවිය යුතුය. යළි යළිත් මතුවූ ගැටළු පහව යන තෙක් ක්‍රියාත්මක විය යුතුය. එසේම, අලුතෙන් මතුවූ ගැටළු කඩිනමින් හඳුනාගෙන එය ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතු බවට ද අවධාරණය කෙරිණ.  

    චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ විරෝධී මෙහෙයුමේදී නිලධාරීන්, විශේෂයෙන් උසස් පෙළේ නිලධාරීන් දැඩි ලෙස ස්වයං පාලනයෙන් සිටිය යුතුය. තමා පමණක් නොව, තම ඥාතීන්, සමීපතයින් හා තම අණසකට යටත් ක්ෂේත්‍ර ද මනා ව පාලනය කළ යුතුය.  

    පිරිසිදු දේශපාලන පරිසරයක්, මෙන්ම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් අතර පැහැදිලි සහෝදරත්වය සහ විනයගරුක සම්බන්ධතාවය ද අතිශය වැදගත් ය. එසේම, ව්‍යාපාර වෙනුවෙන් සේවා සැපයීමේදී පවිත්‍රව අදාළ කටයුතු හසුරුවමින් සක්‍රිය හා ධනාත්මක සමාජ පරිසරයක් ගොඩනැගීම සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් සතු ප්‍රමුඛ කාර්යභාරයක් බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News