රුසියානු හමුදා යුක්‍රේනයේ කලා පාසලකට බෝම්බ දමයි...

මාර් 20, 2022

    රුසියානු හමුදා යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ කලා පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    එම අවස්ථාවේ සරණාගතයන් 400කට අධික පිරිස් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර යුක්‍රේන ජනාධිපති ම්ලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, දකුණු දිග මරියුපෝල් වරාය නගරයට රුසියානු හමුදා සිදු කරන ප්‍රහාර සියවස් ගණනාවක් පුරා මතකයේ රැඳෙනු ඇති බවයි.

    කලා පාසලට බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි රැඳී සිටි බොහෝ පිරිසක් කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන්. බොහෝ පිරිසක් සුන්බුන්වලට සිරවී සිටිනවා. මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි, මරියුපෝල් නගර බලධාරීන් පවසන්නේ. රුසියානු හමුදා නගරයට දැවැන්ත විනාශයක් සිදු කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා. මරියුපෝල් නගරයේ රුසියානු හමුදා සිදුකරන යුද අපරාධ අතිමහත් බවයි ජනාධිපති සෙලෙන්ස්කිගේ අදහස.

    මේ අතර යුක්‍රේන බලධාරීන් පවසන්නේ, රුසියානු හමුදා බොහෝ මරියුපෝල් වැසියන් බලහත්කාරයෙන් නගරයෙන් පිටකරනු ලැබූ බවයි. එය ද අන්තර් ජාතික මානුෂීය නීති උල්ලංඝනය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. සති ගණනාවක් පවතින ගැටුම් හමුවේ යුක්‍රේනයේ ලක්‍ෂ 30කට අධික පිරිසක් එරටින් පළාගොස් තිබෙනවා. කෙසේ වුවද රුසියාවට මෙතෙක් යුක්‍රේන ගුවන් කලාපයේ බලය තහවුරු කරගැනීමට නොහැකි වී ඇතැයි, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

    Latest News