'සංවර්ධනය ලෝකයේ සියලුම රටවල අයිතියයි' - චීන ජනාධිපති අවධාරණය කරයි

ජූලි 06, 2021

    රටවල් කිහිපයක් සතු පේටන්ට් බලපත්‍රවලට වඩා සංවර්ධනය ලෝකයේ සියලුම රටවල අයිතිය බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 

    දේශපාලන පක්ෂ විසින් සියලු රටවල් අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සියලු රටවල ජනතාව අතර සංවර්ධනයේ ප්‍රතිඵල බෙදා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු අතර ඕනෑම පාර්ශවයකට එරෙහි තාක්‍ෂණික අවහිරතා, තාක්‍ෂණික පරතරය සහ සංවර්ධනය විසන්ධි කිරීමට දරන වෑයම්වලට ඒකාබද්ධව විරුද්ධ විය යුතුය.


    සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂ විසින් දැරිය යුතු අතර ගෝලීය අවදානම් සහ අභියෝගයන්ට මුහුණදීම සඳහා එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වාදුන්නේ චීන කොමිනියුස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ අතර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින්.

    රටක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ එම රටේ ජනතාව විසින් මිස කිහිප දෙනෙකු විසින් නොවන බවද ෂීජින්පිං මහතා පෙන්වා දුන්නේය.

    පාලනය වැඩිදියුණු කිරීමේ වගකීම දේශපාලන පක්ෂ විසින් දැරිය යුතු අතර ජනතාවට සතුට සෙවීමේ හැකියාව අඛණ්ඩව වැඩි දියුණු කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

    විවිධ රටවල දේශපාලන පක්ෂ මානවයාගේ පොදු වටිනාකම්වල දැඩිලෙස එල්බ සිටිමින් එය පුළුල් අන්දමින් ප්‍රචලිත කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් ඉල්ලීමක් කළේය.

    සාමය, සංවර්ධනය, සාධාරණ බව, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස යන  සමස්ත මානවයාගේ පොදු වටිනාකම් විවිධ රටවල ජනතාව හඹා යන බව ඔහු ප්‍රකාශ කර කියා සිටී. දේශපාලන පක්ෂ එම වටිනාකම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන්නෙක් විය යුතු ය.

    වෙනස් රටවල ජනතාව එවන් වටිනාකම සාක්ෂාත් කිරීමට මාර්ග සොයාගැනීම අගය කළ යුතු ය. එවැනි වටිනාකම් සිය මහජනතාවගේ ප්‍රතිලාභ ඇති කර ගැනීම හා සම්බන්ධ කර ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

     

    වාර්තාව - රූපවාහිනී වාර්තාකරු මෝතිලාල් හිස්ඇල්ල

    චීනයේ බෙයිජිං නුවර සිට 

     

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 19:35

    Latest News