කොවිඩ් මරණ ලක්ෂ 40 ඉක්මවූ බව 'වර්ල්ඩෝමීටර්' වාර්තා කරයි

ජූලි 06, 2021

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට ලක්ෂ 40 සීමාව ඉක්මවා ගොස් ඇතැයි,කොරෝනා දත්ත වාර්තා කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය සඳහන් කරයි.

    එම වෙබ් අඩවියට අනූව අද වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 40 ලක්ෂ 610ක්.

    වැඩිම මරණ වාර්තා වන රට බවට පත්ව ඇත්තේ අමෙරිකාවයි. එරට සම්පූර්ණ මරණ සංඛ්‍යාව 6 ලක්ෂ 21,000ක්. දෙවනුවට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම අගය පන් ලක්ෂ 25,000කට අධිකයි. තෙවනුවට ඉන්දියාවෙන් කොරෝනා මරණ වාර්තා වන අතර එම සංඛ්‍යාව හාර ලක්ෂ 3,000ක් ලෙස එම වෙබ් අඩවිය පවසයි.

    කෙසේ වෙතත්, කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගිය බවට රොයිටර් පුවත් සේවය මීට සති කිහිපයකට පෙර වාර්තා කළේය. ඒ ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනූවයි. එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ සැබෑ ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් වැඩි බවයි.

    කොරෝනා මරණ නිසි පරිදි වාර්තා නොවීම,ඇතැම් රජයන් නිසි දත්ත ඉදිරිපත් නොකිරීම සහ ඇතැම් රටවල පරීක්ෂණ නිසි පරිදි සිදු නොකිරීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව නිසි පරිදි වාර්තා නොවන බවයි විෂේඥශයින් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 06 ජූලි 2021 12:24

    Latest News