කටාර් සමග සෞදි රටවල් 4ක් යළි සබඳතා අරඹයි

ජන 06, 2021

    සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල් කටාර් රාජ්‍යයත් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්වයට පත් කර තිබේ. මෙලෙස රටවල් අතර සබඳතා යළිත් ආරම්භ වූයේ වසර තුන හමාරකට පමණ පසුවයි.

    අරාබි රාජ්‍යයන් 4ක් මෙලෙස කටාර් රාජ්‍යය සමග සිය සබඳතා යථා තත්වයට පත්කර ගත් බව, සෞදි විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් නිවේදනය කළේය.

    සෞදියේ ෆයිසාල් බින් ‍ෆර්හාඩ් කුමරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,ඊයේ පැවති ගල්ෆ් සහයෝගීතා කවුන්සිල් සමුළුවේ දී අර්බුද පසෙකලා එක්ව වැඩි කිරීමට රටවල් එකඟත්වය පළකළ බවයි.

    සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කටාර්හි එමීර්වරයා ප්‍රසිද්ධියේ වැළඳගනිමින් සිය සහයෝගීතාව පළ කළේය.

    සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය,බහරේනය සහ ඊජිප්තුව වර්ෂ 2017 දී කටාර් රාජ්‍යය සමග සබඳතා නවතා දැමුවේ, ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින්.

    කෙසේ වුවද ගෑස් හා තෙල් සම්පතින් පොහොසත් රාජ්‍යයක් වන කටාර් එම චෝදනා,ප්‍රතික්ෂේප කළේය.
    එසේම,දෝහා පදනම් කර ගත් අල්ජසීරා නාලිකාව වසා දමන ලෙස සහ ඉරානය සමග සබඳතා නතර කරන ලෙසට ද එල්ල වූ බලපෑම් ප්‍රතික්ෂේප කිරීමටයි, කටාර් රාජ්‍යය කටයුතු කළේ.

    ඉකුත් මාස කිහිපයේ දී අමෙරිකානු මැදිහත්වීමෙන් අරාබි රටවල සහයෝගීතාව වර්ධනය කිරීමේ සාකච්ජා ක්‍රියාත්මක වූ අතර මෙම නව එකඟතාවන්ට එය ද හේතු විය.

    අරාබි රටවල සහභාගීත්වයෙන් පැවති ගල්ෆ් සහයෝගීතා කවුන්සිල් සමුලුවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනනුවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශක ද වන ජෙරාඩ් කුෂ්ණර් ද සහභාගී වූයේ අදාළ අමෙරිකානු මැදිහත්වීම තවදුරටත් පිළිබිඹු කරමින්.

    Last modified on බදාදා, 06 ජනවාරි 2021 10:49

    Latest News