ෆයිසර් එන්නත භාවිතයට බහරේනයෙන් අවසර

දෙසැ 05, 2020

    අමෙරිකානු සමාගමක් වන ෆයිසර් ආයතනයේ කොරෝනා එන්නත භාවිතය සඳහා බහරේනය අවසර ලබා දී තිබේ.

    එම අනුමැතියත් සමග ෆයිසර් එන්නත කඩිනම් භාවිතයට අවසරයක් දුන් ලොව දෙවැනි රට බවට පත්වන්නේ, බහරේනයයි. ගෝලීය වශයෙන් පැතිරයන කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කළ එන්නත් අතරින් සියයට 95ක ඉහළ සාර්ථකත්වයක් දැනට ළගාකර ගෙන ඇත්තේ, ෆයිසර් ආයතනය විසින් වන අතර එම එන්නත මේ වන විට බ්‍රිතාන්‍ය තුළ භාවිතයට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ අවසර දුන්නේය.

    ඔවුන් ඒ සඳහා පළමු අදියරයේදීම එන්නත් මාත්‍රා කෝටි 4ක් ඇනවුම් කර තිබේ. බ්‍රිතාන්‍ය අවසර ලබාදීමත් සමග බහරේනය ද මෙලෙස එන්නත ලබාදීමට අවසර දී ඇත්තේ, රට තුළ ඇති වසංගත තත්වයේ ඉහළ බලපෑම් තත්වය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බහරේනය තුළ අද වන විට කොරෝනා ආසාදිතයන් 87,000ක් වාර්තා වී තිබේ. 341 දෙනෙක් වෛරසයෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි. ගෝලීය වශයෙන් වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාව තුළ අද වන විට ආසාදිතයන් එක් කෝටි 47 ලක්ෂ 72,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි. දෛනිකව එරට තුළ ලක්ෂ 2කට වැඩි නව ආසාදිතයන් වාර්තාවීමේ ඉහළ අවදානම් තත්වයක් ඇතිවී ඇති බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

    නමුත් තවමත් අමෙරිකාව තුළ කිසිඳු එන්නතක් භාවිත කිරීමට සෞඛ්‍ය අංශ අවසර ලබා දී නැති අතර සෞඛ්‍ය අංශ තුළ තවමත් එන්නත් සම්බන්ධයෙන් ගැටළු රාශ්‍රියත් පවතින බව වාර්තා වෙයි.  එන්නත් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවිය හැකි අතුරු ආබාධ හා සංකූලතා පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබේ.  ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 6 කෝටි හැට දෙලක්ෂ 28,000කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.  ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15 ලක්ෂ 24,000කට වඩා වැඩි වී ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 12:37

    Latest News