බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සියදිවි නසා ගනියි

ජූනි 14, 2020

    ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානි කර ගෙන තිබේ.

    අද(14) උදෑසන මුම්බායි හි බන්ඩ්‍රා ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    34වැනි වියෙහි පසුවන සුෂාන්ත් සිං රාජ්පුත්, 2013 වසරේ දී 'කයි පෝ චේ' චිත්‍රපටය සමඟ හින්දි සිනමාවට පිවිසුනි. 'එම්.එස්. දෝනි' චරිතාපදානය සුෂාන්ත් සිං ගේ සිනමා දිවියේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ චරිතය විය.

    දිල්ලි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිටිය දී වෘත්තීමය වශයෙන් රංගන දිවියට පිවිසීම සදහා ඔහු සරසවි දිවිය අතහරිනු ලැබීය.

    එසේම මීට දින කිහිපයකට පෙර සුෂාන්ත්ගේ හිටපු කළමනාකරු දීෂා සාලියන් සියදිවි නසාගෙන තිබුණි. සාදයකින් පසු දීෂා සිය මහල් නිවාසයේ ජනේලයෙන් පැන ඇති බව සදහන්වේ.

    මූලික පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ සුෂාන්ත් පසුගිය දින කිහිපය තුළ මානසික අවපීඩනයෙන් පෙළෙනු බවයි. කෙසේ නමුත් සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළිව නොමැති බව සදහන්වේ.

    මෙම මරණයෙන් කම්පාවට පත්ව ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ දීප්තිමත් තරුණ නළුවෙක් ඉතා ඉක්මණින් නැති වී ගොස් ඇති බවයි.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 17:32

    Latest News