කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 910...ආසාදිතයින් 40,234

පෙබ 10, 2020

    නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් තිබේ. මරණ 908ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

    මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 40,234 දෙනෙක් වාර්තා වී තිබේ. කොරෝනා වෛරසය හඳුනා ගැනීමෙන් අනතුරුව මුල් කාලසීමාවේ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් නොකළ නමුත්, මේ වන විට දෛනිකව පුද්ගල මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. දින 4ක් පුරා හොංකොං වරායේ නවතා තිබූ වර්ල්ඩ් ඩ්‍රීම් මගී නෞකාවේ පුද්ගලයින්ට අද හොංකොං රාජ්‍යයට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබේ. ඉකුත් දින 4 පුරාම පැවති නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, එහි ගමන්ගත් මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසුවයි මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. මගීන් සහ කාර්ය මණ්ඩලය 3,600ක් පමණ නෞකාවේ ගමන් කර තිබිණ. කෙසේ වෙතත්, ජපානයේ යොකොහමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් 64 දෙනෙකු හඳුනාගෙ ඇති අතර එහි නිරෝධායන ක්‍රියාවලිය තහවුරුටත් ක්‍රියාත්මකයි.

    ඊයේ වන විට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2002/2003 සාර්ස් වෛරසයෙන් මිය ගිය පිරිස අභිබවා ගියේ, කොරෝනා වෛරසය කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය තවදුරටත් යොමු කරමින්. කෙසේ වෙතත්, ඉහළ යන මරණ සංඛ්‍යාවට සාපේක්ෂව කොරෝනා වෛරසයෙන් සුවය ලබන පිරිස ද ඉහළ අගයක් ගැනීම කැපී පෙනෙයි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 3,200කට අධිකයි. කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට චිනය ගනු ලබන ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පැසසුමට ලක් කරන අතර, එහි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ දී චීනය වෙත පිටත්ව යාමට නියමිතයි. ලොව රටවල් කිහිපයකින් වෛද්‍ය සැපයුම් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මේ වන විට චීනය වෙත ලබා දෙමින් පවතින අතර, රුසියාව ද ඊයේ වෛද්‍ය සැපයුම් තොගයක් ලබා දී තිබේ. රටවල් රැසක් තවදුරටත් තම ජාතිකයින් ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සිදු කරමින් පවතියි.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 07:57

    Latest News