අවසන් පුර්ව තරග කඩඉම් පරික්ෂණයට හතුරුසිංහ සුදානම් (විඩියෝ)

ජූනි 28, 2019
  • දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය අත්කර ගැනීමට ප්‍රමාණවත් දස්කම් අතර ක්‍රීඩකයන් සිටින බව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

    ලෝක කුසලාන තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු රඳවාගෙන අද (28) ඩැරම් හී එමිරේට්ස් රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසේ.

    ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයේ තරග ලබන ජූලි මස 6 වැනිදා අවසන් වන අතර ශ්‍රී ලංකා පිලට තවත් තරග 3ක් ක්‍රීඩා කිරිමට තිබේ. අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිල මේ තරග 3ම ජයගත යුතුව ඇත. දැනට ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ සිවුවැනි තැන පසුවන එංගලන්තයට ඉතිරිව ඇති තරග 2කෙන් එක් තරගයක් පරාජය වීම ද අවශ්‍ය වේ. මෙම තරගාවලියේ දි ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම පරාජය කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.

    අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ අරමුණ අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව මෙන්ම ශාරිරිකව ද ඉහළ තලයක පසුවන බව පුහුණුකරු හතුරුසිංහ සහතික කළේය.

    ‘අවසන් (එංගලන්තය සමග පැවති) තරගය හැරුණුවිට අපේ ආරම්භක පිතිකරුවන් ලකුණු අතරේ සිටියා. ඒ වගේම එංගලන්තයට එරෙහිව ජයගත් තරගයේදී මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණියා. අපි තවමත් විශ්වාස කරනවා තිසර පෙරේරා හා ඉසුරු උදානට වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තවම තිබෙන බව. ඒ වගේම අපි මේ දින කිහිපය තුළ හොඳින් පුහුණුවිම්වල නිරතවුණා.’ ඔහු කීවේය.

    ‘ඒත් අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමේ පීඩනයක් නැති නිසා හෙට (අද) දකුණු අප්‍රිකාව කිසිම පීඩනයක් නැතිව ක්‍රීඩා කරාවි. නමුත් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපේ කණ්ඩායම සුදානම්. මේ තණතීරුව හොඳට ලකුණු තියෙන තණතීරුවක්. ඒ නිසා පිතිකරුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අවස්ථාව තිබෙනවා.’ හතුරුසිංහ කීවේය.මේ අතර වේගපන්දු යවන නුවන් ප්‍රදීප් උණ රෝගය වැළඳීම නිසා තරමක රෝගි තත්ත්වයෙන් පෙළෙන බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන බව ද හතුරුසිංහ පැවැසීය.

    මෙවර තරගමාලාවේ දී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි තර්ජනයක් ගෙන දුන් දකුණු අප්‍රිකානු පිලේ දඟපන්දු යවන ඉම්රාන් තාහිර්ට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සමත්වනු ඇතැයි හතුරුසිංහ විශ්වාසය පළ කළේය.

    ‘ඉම්රාන් තාහිර් කියන්නේ ලෝක මට්ටමේ දඟපන්දු යවන්නෙක්. නමුත් අපේ පිතිකරුවන්ට දඟපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදීමේ හොඳ හැකියාවක් තිබෙන නිසා එය එතරම් විශාල තර්ජනයක් වෙන එකක් නෑ.’

    ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර මෙතෙක් එක්දින තරග 76ක් පවත්වා ඇති අතර ඉන් තරග 43ක ජය දකුණු අප්‍රිකාවටත්, තරග 31ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී තිබේ. අවසන් වරට දකුණු අප්‍රිකානු පිල සමග පැවැති එක්දින තරගාවලිය 5-0කින් පරාජයට පත්විය. මෙවර ලෝක කුසලාන තරගමාලාවේ අද වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා පිල තරග 2ක් ජයගෙන 7 වැනි තැන පසුවේ. දැනටමත් තරගමාලාවෙන් ඉවතට විසිවී සිටින එක් තරගයක් පමණක් ජයගත් දකුණු අප්‍රිකානු පිල 9 වැනි ස්ථානයේ පසුවෙයි.

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 13:41

    Latest News