නායකත්වයේ ඉනිමකින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රථම ජය

අගෝ 18, 2019

    නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු හයකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය.

    තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් සිය ප්‍රථම ඉනිම සඳහා ලබාගත් අතර, රොස් ටේලර් ලකුණු 86ක් ලබාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. නවසීලන්ත පිතිකරුවන්ට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් ප්‍රථම ඉනිමේදී ලකුණු 29කට කඩුලු හතරක් දවාගත්තේය. අකිල ධනංජය ලකුණු 90කට කඩුලු පහක් දවාගැනීමට සමත්විය. ලකුණු 249කට නවසීලන්ත ඉනිම සීමාවීමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්නට සහ ලහිරු තිරිමාන්නට ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවක් ගොඩනැගීමට හැකිවූ අතර ලකුණු 10ක් ලබා සිටියදී ලහිරු තිරිමාන්න දැවී ගියේය.

    ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නායක දිමුත් කරුණාරත්න සමඟ එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් ගොඩනැඟු අතර දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 39ක් ලබා සිටියදී. තුන්වන කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩනැඟු අතර කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් රැස් කරගෙන සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම කඩා වැටීම ආරම්භ වූ අතර, ලකුණු 161ක කඩුලු 7ක්ව තිබියදී පිටියට පිවිසි සුරංග ලක්මාල් සහ නිරෝෂන් දික්වැල්ල එක්ව ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කණ්ඩායම නැවත ස්ථාවර මට්ටමක ගෙන ඒමට සමත්වූහ. සුරංග ලක්මාල් ලකුණු 40ක් ප්‍රථම ඉනිමේදී රැස් කිරීමට සමත්විය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 61ක් ලබාගැනීමට සමත්වූ අතර, ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 267කට සීමාවිය.

    නවසීලන්තය දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 285ක් රැස්කිරීමට සමත් වූ අතර, ජේම්ස් වොට්ලින් ලකුණු 77ක් ද, ටොම් ලේතම් ලකුණු 45ක් ද රැස්කර ගත්තේය. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 99කට කඩුලු 4ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත්වූහ. ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 161ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. ලහිරු තිරිමාන්න ලකුණු 64ක් දෙවැනි ඉනිමේදී රැස්කර ගත්තේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමට නොහැකි වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න එක්ව ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. දිමුත් කරුණාරත්න ලකුණු 122ක් රැස් කළ අතර, එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ නව වන ටෙස්ට් ශතකය වේ. ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනු ලැබූ අතර, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 14ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියදී ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකිවිය. මේ අනුව ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරඟය ජය ගැනීමට සමත්විය.

    Last modified on ඉරිදා, 18 අගෝස්තු 2019 18:26

    Latest News