දිමුත්ගේ මංගල ශතකය

ජූනි 25, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සිම්බාබ්වේ බුලවායෝ හි ක්වීන් ස්පෝට්ස් ක්ලබ් හි පැවැත්වෙන ශ්‍රී ලංකා අයර්ලන්ත තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට අයර්ලන්තය තීරණය කළා.

    ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 36.4ක් නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 226ක් ලබා සිටිනවා. ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 48ක් වන විට පැතුම් නිස්සංක ලකුණූ 20 කට දවා ගැනීමට බැරී මැකර්ති සමත් වුනා.

    යලි ක්‍රියාත්මක වූ මැකර්ති කුසල් මෙන්ඩිස් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යැව්වා. තෙවන කඩුල්ල වෙනුවෙන් එක්වූ දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම පන්දු 159කදී ලකුණු 168ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිමට ප්‍රභල ස්ථාවරත්වයක් ලබා දුන්නා.

    දිමුත් සිය එක්දින දිවියේ පළමු වන ශතකය අද රැස් ක‍ළේ 101පන්දු කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් ද සමගින්. මෙම අගනා ඉනිමත් සමග ඔහු සිය එක්දින ලකුණු 1000 සීමාව පසුකිරීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා අද ක්‍රීඩා කරන්නේ තමාගේ 40 වන එක් දින තරගයයි.

    දිමුත්ට අගනා සහයක් ලබා දුන් සධීර සමරවික්‍රම ලකුණු 82ක් ලබා සිටියදී දැවී ගියා. චරිත් අසලංක නොදැවී ලකුණු 8ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

    Last modified on ඉරිදා, 25 ජූනි 2023 15:47

    Latest News