කටාර් සැණකෙළියට තව සතියයි

නොවැ 13, 2022

    ‍ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා කටාර් හි ආරම්භ වනවා. තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ, ජාතික රූපවාහිනියටයි.

    ලොවපුරා කණ්ඩායම් 32 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙනවා. ලොව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව, පෙරමුණේ පසු වන්නේ, බ්‍රසීල කණ්ඩායමයි. ඔවුන්, ශ්‍රේණිගත කිරීම් ලකුණු 1,841 ක් හිමි කර ගෙන තිබෙනවා.

    ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනක් කිරුළ හිමි කර ගත්තේ ද බ්‍රසීලයයි. ඔවුන් පස් වරක් එම කිරුළ දිනා ගත්තා. මෙවර තරගාවලියේදී බ්‍රසීලය, මූලික ව‍ටයේදී “ජී” කාණ්ඩයෙන් තරග වදිනවා.

    ලොව අංක දෙකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම තවමත් ලෝක පාපන්දු කිරුළක් දිනා ගෙන නැහැ. ඔවුන් 2018 වසරේදී තෙවැනි ස්ථානය දිනා ගත්තා. මෙවර මූලික වටයේදී ඔවුන් “එෆ්” කාණ්ඩයෙන් තරගවදිනවා. ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානයේ පසු වන ආර්ජන්ටිනාව, මූලික වටයේදී තරගවදින්නේ, “සී” කාණ්ඩයෙන්. ඔවුන් 1978 සහ 1986 වසරවලදී ලෝක පාපන්දු කිරුළ හිමි කර ගත්තා.

    ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ සිව්වැනි ස්ථානය ප්‍රංශයට හිමියි. 1998 සහ 2018 වසරවලදී ලෝක පාපන්දු කිරුළ දිනූ ප්‍රංශය මෙවර මූලික වටයේදී “ඩී” කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතයි. ලොව ශ්‍රේණිගත කිරීම් අනුව, පස් වැනි ස්ථානයේ පසුවන එංගලන්තය මෙවර මූලික වටයේදී තරගවදින්නේ “බී” කාණ්ඩය යටතේයි. ඔවුන් එක් අවස්ථාවකදී ලෝක පාපන්දු කිරුළ හිමි කර ගෙන තිබෙනවා. ඒ, 1966 වසරේදී.

    Latest News