ධනුෂ්කට ඇපත් නෑ - ලිංගික චෝදනා 4ක්

නොවැ 06, 2022

    සිඩ්නිහිදී අත්අඩගුවට ගැණුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.  ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් සිදුකරන බවයි.

    20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවීමට ඔස්‍ට්‍රේලියාව බලා පිටත්ව ගිය ධනුෂ්ක ගුණතිලක අද එරට වේලාවෙන් අළුයම 01.00 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,  ලිංගිත අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ අදාල කාන්තාව දින ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇසුරු කර ඇති බවත්, පසුව ඔහු ඇයගේ නිවසේදී ඇය මුණගැසී ඇති බවත්,  වාර්තා වනවා.                                                                                              

    අදාළ කාන්තාව නිවුසවුත්වේල්ස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන්නේ ධනුෂ්ක ගුණතිලක විසින් තමාව ලිංගික අතවරයකට ලක්කල බවයි.  අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක අද අළුයම අත්අඩංගුවට පත්වුණේ,  සිඩ්නි නුවර කණ්ඩායම නවාතැන් ගෙන සිටි ‍හෝටලයේදී. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු නීතිය යටතේ චෝදනා 04ක් ගොනුකර ඇති අතර,  ඔහු‍‍ගේ පොලිස් ඇප ඉල්ලීමද ප්‍රතිකේෂ්ප කර තිබෙනවා.  අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ,  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ධනුෂ්ක ගුණතිලකගේ අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය තහවුරු කළ බවයි.  ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා. 

    ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පුළුල් පරීක්ෂණයක් සිදුකරණ අතර මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද,  ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.  20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග ඊයේ පැවති තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙරට බලා පිටත්වුණා.                                                             

    ඒ, ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි. මීට පෙරද අවස්ථා රැසකදීම ධනුෂ්ක ගුණතිලකට  විනය විරෝධී සිද්ධි සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.  එංගලන්තයේදී සිදුවූ සිද්ධියෙන් අනතුරුව ඔහුට තරග තහනමක් ද පැණවූ අතර,  අනතුරුව එම තහනම ලිහිල් කෙරුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන්. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ධනුෂ්ක නැම්බියාවට එරෙහි තරගයට ක්‍රීඩා කළා. එහිදී ඔහුට කිසිදු ලකුණක් රැස්කිරීමට හැකිවුණේ නැහැ.

    අනතුරුව ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණේ ඔහු වෙනුවට අශේන් බණ්ඩාරද කණ්ඩායමට කැදවමින්. කෙසේ වෙතත්, ධනුෂ්ක ගුණතිලක මෙරටට එවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේ නැහැ.  ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා ද අදහස් පළ කර තිබෙනවා.

    Latest News