Champion Celebration  Champion Celebration Getty Images

2022 ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

සැප් 12, 2022
  • ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

    අවසන් මහා තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර අවසන් තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

    ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 58කට සීමාකිරීමට සමත් වූ පාකිස්තානු පන්දු යවන්නන් මුල් අවස්ථාවේ දි තරගය ඔවුන් අතට පත් කර ගත්තා. නමුත් භානුක රාජපක්ෂ සහ වනිදු හසරංග අගනා සබඳතාවක් පවත්වාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළා. ඒ අනුව භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක්, වනිදු හසරංග ලකුණු 36 ක් ධනංජය ද සිල්වා ලකුණු 28 හා චාමික කරුණාරත්න ලකුණු 14 ක් ලබා ගැනීමට සමත් වුණා.

    ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 6ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147 ක් පමණයි.

    පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Iftikhar Ahmed ලකුණු 32 ක්, Mohammad Rizwan ලකුණු 55 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළිමට සමත් වුණා.

    මෙම ආසියානු කුසලාන t20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හය වන වතාවට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

    Last modified on සදුදා, 12 සැප්තැම්බර් 2022 13:59

    Latest News