ස්වීස් තානාපති කාර්යාලයේ ගානියා හෙට මනෝ වෛද්‍ය පරික්ෂණයකට: නීතිඥ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වේ

දෙසැ 12, 2019

    ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට පැනවු විදෙස් ගමන් තහනම ලබන 17 වනදා තෙක් දීර්ඝ කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධියට අදාල නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබිණ.

    අධිකරණ නියෝගය අනුව පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයට කියා සිටියේය. ඇයගේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් කණ්ඩායමක් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.

    ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමකට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝග කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ටව, විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කළේය.

    මෙම නියෝගය පරිදි හෙට දින ඇයව වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමට හැකි බවත් ඒ පිළිබඳ වාර්තාවක් ලබන 17 වනදා අධිකරණය වෙත ලබා දීමට හැකි වනු ඇති බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

    ඒ අනුව මෙම පරීක්ෂණවල ප්‍රගතිය ලබන 17 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරෙන තෙක් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත විමේ තහනම එදින තෙක් දීර්ඝ කරන මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

    තම සේවාදායිකාව මේ වන විට දින ගණනාවක් රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබාදී ඇති බවත් ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට කියා සිටියේය. එ බැවින් ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම් ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවෙසේ සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස රහස් පොලිසියෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගේ නිතිඥවරයා සඳහන් කළේය.

    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා එම ඉල්ලීමට විරුද්ද වුයේය. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවස වෙනත් රාජ්‍යයකට සම්බන්ධ ප්‍රදේශයක් බැවින් ශ්‍රී ලංකා නීතියට අනුව එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී නීතිමය ගැටලු මතුවිය හැකි බවයි.

    ප්‍රකාශ සටන් කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දීම සිදු කිරීම සුදුසු බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්ළුරිය නඩුව ලබන 17 කැඳවන ලෙස නියෝග කළේය.

    රජය වෙනුවෙන් ජනක බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දැක්වු අතර ගාණියා බැරිස්ටර් වෙනුවෙන් නිතිඥ මඩුල්ලක් අධිකරණයට කරුණු දැක්වීය.

    සිද්ධිය සම්බන්ධයෙන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇත. එසේම ඇයට පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදු කර ඇත්දැයි සොයා බැලීම සදහා අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට ද ලක් කර තිබේ.

    ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති මෙම කාන්තාව ප්‍රකාශ කර තිබුණේ තමන් පැහැර ගෙන ගොස් ස්වීස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ බවයි. ඒ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොවූව ද මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමත් සමග පූර්ණ පරික්ෂණයක් පැවැත්වීමට රජය කටයුතු කළේය.

    ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර මෙම කාන්තාව විදේශගත වීමට උත්සාහ කරන බවට ලද තොරතුරු මත එය වැළැක්විමේ අධිකරණ නියෝගයක් රහස් පොලිසිය විසින් ලබාගෙන ඇත.

    මෙම ස්වීස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගිය බවට ප්‍රකාශ කළ ද සීසීටීවී දර්ශන හෝ වෙනත් කිසිවකින් ඒ බව තහවුරු වී නොමැති අතර ඇයගේ ප්‍රකාශ මත ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මකයි.

     

    Latest News