ස්විට් නිලධාරිනියගේ සිද්ධිය ස්වතන්ත්‍ර නිර්මාණයක්..පිටුපස සිටින්නේ කවුද?විමර්ශනයක්

දෙසැ 17, 2019

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ සිද්ධිය එම කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැතිනම් ඒ පිටුපස කිසියම් පුද්ගලයෙකු සිටිනවාද යන්න, අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

    මෙම කාන්තාව ඉකුත් නොවැම්බර් මස 25 වැනිදා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආසන්නයේ දී පැහැර ගැනීමට භාජනය වූ බව ස්විට්ස් තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරි රාහුල් ඉන්බැජ් විසින් විදේශ අමාත්‍යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලේ සඳහන් කරන තිබූ බව, නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. එහෙත් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අවට සීසීටීවී දර්ශනවලින් එවැනි පැහැර ගැනීමක් පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණය නොවන බවද, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා ප්‍රකාශ කළේය. අදාළ කාන්තාවගෙන් රහස් පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී නොවැම්බර් මස 25 වැනිදා සවස තමා බම්බලපිටිය පැල්මයිරා මාවතේ පිහිටි ගුරුවරියකගේ මහල් නිවසකට ගිය බවත්, එම නිවස තුළ සාලයේදී කිසියම් පිරිසක් විසින් තමන්ට පහරදී තර්ජනය කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා නමැති නිලධාරියාගේ විදේශ ගත වීම පිළිබඳ ප්‍රශ්න කළ බව අදාළ කාන්තාව සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

    නමුත් පැල්මයිරා නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් හා මුරකරුගෙන් කරන ලද විමසීම්වල දී පැහැර ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් පිළිබඳ කිසිඳු තොරතුරක් නොවූ බවයි, ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.

    එමෙන්ම, අදාළ නිවසේ හිමිකාර ගුරුවරියගෙන් විමසීම් කළ අවස්ථාවේ දී තම නිවස තුළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය, සඳහන් කරන ආකාරයේ කිසිඳු සිදුවීමක් නොවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පෙන්වා දුන්නේය. අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, පැහැර ගැනීමට ලක්වූ අවස්ථාවේ දී තමා දරුවන්ට කිරිදෙන මවක් ලෙස අදාළ පැහැරගත් පුද්ගලයන්ට ප්‍රකාශ කළ අවස්ථාවේ දී ශාරීරිකව වද හිංසනවලට ඇය ලක්කර ඇති බවයි. එවිට මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තා හා අදාළ කාන්තාවගේ ප්‍රකාශවලින් පෙනී යන ආකාරයට එවැනි වද හිංසනයකට භාජනය වූ බවට තමාට පිළිගත නොහැකි බවයි. අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා, අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව අධිකරණයට ඇප ලබා දිය හැකි වැරදි බැවින්, ඇය ඇප මත මුදාහරින ලෙසයි. එම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ මෙම සිද්ධිය තුළින් රටට විශාල අපකීර්තියක් සිදු වන බවයි.

    යම් හෙයකින් ඇයට ඇප ලබා දුනහොත්, රටින් පලා යාමට ඉඩකඩ ඇති බවද රජයේ නීතීඥවරයා, අධිකරණය හමුවේ කියා සිටියේය. විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින්, අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    සියලු කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර කාන්තාව විමර්ශනවලට නිසිපරිදි සහය ලබාදීමක් සිදුකර නොමැති හෙයින් ඇප මතා මුදාහැරියහොත් විමර්ශනවලට බාධා සිදුවන බවයි. නඩුවේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ කාන්තාව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන බව ද දන්වා සිටියාය.

    ඒ අනූව ලබන 30 වැනිදා තෙක් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය, රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. අනතුරුව ඇය වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 13:13

    Latest News