ස්විස් තානාපති කාර්යාල නිලධාරියා අදත් CIDය හමුවට

දෙසැ 13, 2019

    පැහැරගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (13) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන යාමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය ඊයේ (12) රාත්‍රී හත පමණ වන තෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය. මෙහිදී ඇයට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් 17 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

    අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ජනක බණ්ඩාර මහතා සදහන් කළේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබද වාර්තාවක් ලබාගැනීම සදහා මානසික වෛද්‍ය මඩුල්ලකට යොමු කිරීම රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්ණය කර ඇති බවයි. ඒ හේතුවෙන් ඊට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් අධිකරණය පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම කාන්තාවගේ මානසික සෞඛ්‍ය පිළිබද වාර්තාවක් ලබාගැනීම සදහා යොමුකරන ලෙසට නියෝගයක් නිකුත් කළාය.

    Last modified on සිකුරාදා, 13 දෙසැම්බර් 2019 17:46

    Latest News