විකිරණ යන්ත්‍රයට රැස් කළ මුදල් රෝහල් ගිණුමට අවේ නැහැ; විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක

දෙසැ 12, 2019

    මහරගම අපේක්‍ෂා රෝහලට විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට යැයි පවසමින් “ෆයිට් කැන්සර් ටීම්“ නමැති සංවිධානය මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව, රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

    එම මුදල් රෝහලේ ගිණුමකට බැර නොවන බව ඔහු පවසයි. අධ්‍යක්‍ෂවරයා මේ බව කියා සිටියේ, අද එම රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා....

    “මහරගම අපේක්‍ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබාදෙන්න කියලා මොහොමඩ් නමැති පුද්ගලයෙක් මුදල් එකතු කරනවා. ඒ තැනැත්තා මීට කලින් මේ රෝහලට “පෙට්ස්කෑනින්“ යන්ත්‍රයක් ලබාදීලා තියෙනවා. ඇත්තටම අපි ඒ ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔහු මෙවර රුපියල් කෝටි සියයක් එකතු කරනවා. ඒ ගන්න යන්ත්‍රය කොහොම ද තියන්නේ. ඒ ගැන කිසිම දෙයක් කතා කරලා නැහැ. ඔහු හැමවෙලේම පාවිච්චි කරනවා අපේක්‍ෂා රෝහල ගිණුම කියලා. අපේක්‍ෂා රෝහලේ ගිණුමට නෙමෙයි මේ සල්ලි එන්නේ වෙනත් ගිණුමකට.

    අපේක්‍ෂා රෝහලේ ගිණුමට මේ මුදල් බැර වෙන්නේ නැති බව මම සහතික කරලා කියනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටයි, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටයි මම මේක ලිඛිතව දැනුම් දුන්නා. මේ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන්න මේ සල්ලි මොකද වුණේ කියලා.

    එහෙම නැත්නම් පිළිකා රෝගීන්ට ඒක ලොකු අසාධාරණයක්. ඒ වගේම කෝටි දාහක් දීපු දුප්පත් මිනිස්සු සමහරු රුපියල් 50/= දුන්නේ. ඒ අයට සාධාරණයක් මම ඉටු කරනවා. තිරය පිටුපස වෙන දේවල් ගැන මට අවබෝධයක් නැහැ. වංචා කරලා තියෙන්නේ ඡන්දයට විදයම් කරන්න තියාගත්තද දන්නේ නැහැ රාජිත සේනාරත්න ඇමතිතුමා. කොහොමත් එතුමා බේරුවල ඡන්දයට ඕන දෙයක් කරන කෙනෙක්නේ. රාජිත සේනාරත්න ඇමතිතුමා මට කිව්වා මොකද මේ කරන්නේ, එහෙම කරන්න එපා කියලා. මට ඔහු බැන වැඳිලා කියලා තියෙනවා මොහොමඩ්ගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා“ යැයි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 19:57

    Latest News