ශ්‍රී ලංකාව තවත් හෙක්ටයාර 269කින් විශාල වෙයි (වීඩියෝ)

දෙසැ 07, 2019

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ආයෝජකයන්ට අද (07) විවෘත කෙරිණ.

    උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද මහතාගේ ප්‍රධානත්වයෙන්.


    2014 වසරේ සැප්තැම්බර් 17 වැනි දින මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරය දරන සමයේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායට මුල්ගල තැබීය. ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක්. කොළඹ වරාය සහ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අතර හෙක්ටයාර් 233ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කිරීමට සැලසුම් කෙරිණ. 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය මෙහි ඉදිකිරීම් තාවකාලිකව නතර කර, මුල් ගිවිසුම සංශෝධනය කිරීමට පියවර ගත්තේය. ඒ අනුව, ගොඩ කිරීමට කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 269ක් දක්වා වැඩි කෙරිණ. චීන සමාගමට දී තිබූ හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116ක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදීමට යහපාලන රජය ගිවිසුම් සකස් කළේය. ඒ අනුව, ඉදිකිරීම් සිදු කළ හැකි හෙක්ටයාර් 178ක භූමි ප්‍රමාණයකින්, හෙක්ටයාර 116ක් චීන සමාගමටත්, හෙක්ටයාර 62ක් ශ්‍රී ලංකා රජයටත් හිමිවේ.


    ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වූ කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක කොටස මෙරටට ලබාදීමේ නිල උත්සවය අද සවස පැවැත්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කෙරිණ. මේ අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්වූහ. වරාය ව්‍යාපෘතියේ දෙවැනි අදියර හෙට සිට ආරම්භ වන අතර, ඒ යටතේ මහාමාර්ග, විදුලිය, ජලය සහ පොදු පහසුකම් පද්ධති සකස් කෙරෙනු ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරෙන මෙම භූමියේ ඉඩම් හෙට සිට ව්‍යාපෘති කටයුතු සඳහා වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 22:12

    Latest News