මහින්දගේ සහ බැසිල්ගේ විදේශ ගමන් තහනම්

ජූලි 15, 2022

    හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුක පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණා

    මෙම නියෝගය ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් වුණා

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරුවරුන් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු වුණා.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අද දින වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා 2020 වසරින් පසුව මෙරට තුළ විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට ලක් වූ බව සඳහන් කළා.

    මෙරට තුළ ඩොලර් අර්බුදයක් පවතින බව සඳහන් විට පාලකයින් එය උපහාසයට ලක් කරමින් එවැනි අර්බුදයක් නොමැති බව සඳහන් කළේ යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා වත්මන් පාලකයින් විසින් බලයට පැමිණි විගස ප්‍රදානය කළ බදු සහන හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ද පෙන්වා දූන්නා.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද තමා බලයට පත්වීමෙන් පසු ව්‍යාපාරිකයින්ට ප්‍රදානය කිරීමට නියමිත බදු සහන පිළිබඳව සදහන් කර තිබූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙවැනි බදු සහන ලබාදීම තුළින් ආර්ථික අර්බුදයක් මතුවිය හැකි බව එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ යැයි ද සිහිපත් කළා.

    2019 වසරේදි මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 07 කට අධික විදේශ සංචිත ප්‍රමාණයක් පැවති අතර වග උත්තරකරුවන් අනුගමනය කළ අදුරදර්ශී ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් එම සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 45 ක් දක්වා පහත වැටුනු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ප්‍රමාණය ඉන්ධන නෞකාවක් මිලදී ගැනීමට පවා ප්‍රමාණවත් නොවන බව සඳහන් කළා.

    ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු රජය එවැනි පියවරක් ගැනීම අනවශ්‍ය බවත් රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව අත්තනෝමතික ලෙස අවධාරණය කළේ යැයි ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය වඩාත් උග්‍ර තත්ත්වයකට පත් වූ බවත් වග උත්තරකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් මහජනයාට ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා දින ගනන් පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

    කොවිඩ් වසංගතයෙන් පසුව පවා ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, පාකිස්තානය, මාලදිවයින වැනි රටවල පවා විදේශ සංචිත කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගොස් තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කොවිඩ් ව්‍යප්තිය නිසා මෙරට තුළ වත්මන් ආර්ථික අර්බුදය මතු වූ බව පාලකයින්ට ප්‍රකාශ කළ නොහැකි බවත් සදහන් කළා.

    එබැවින් මෙම පෙත්සම සලකා බලන තෙක් හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියා.

    ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ආර්ථික අර්බුදයට තම සේවාදායකයින් පමණක් වගකිව යුතු බවට පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බව සඳහන් කළා.

    මහ බැංකුව, පාර්ලිමේන්තුව, රාජ්‍ය නිලධාරීන් සියල්ල සිටියදී තම සේවාදායකයින් පමණක් මෙම තත්ත්වයට වග කියන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

    රජය විසින් ප්‍රදානය කළ බදු සහන හේතුවෙන් වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූ බව පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

    එම බදු සහන ප්‍රදානය කළේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය තම සේවාදායකයින්ගේ පුද්ගලික මැදිහත් වීම මත සිදු නොවූ බවත් සඳහන් කළා.

    තම සේවාදායකයින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී මේ වනවිට වූ මාස ගනනාවක් ගත වී ඇති හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතියෙන් හැකියාවක් නොමැති බවත් ඔහු තර්ක කළා.

    පසුගියදා තම සේවාදායකයින්ගේ නිවාස ගිනි තැබූ අතර පසුගිය රජය සමයේ තම සේවාදායක බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 05 ක් ගොනු කළ බවත් එම නඩුවට අදාළව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග පැනවූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    එම නඩු විභාග පැවැති සමයේ ඔහු අධිකරණයෙන් අවසර ලබා ගෙන විදේශගතව ආපසු දිවයිනට පැමිණ ඇති අතර ඒ තුළින් ඔහු අධිකරණය මග හරින පුද්ගලයෙකු නොවන බව පහසුවෙන් වටහාගත හැකි බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

    එබැවින් තම සේවාදායකයින්ට රටින් පලා යාමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

    නිදහසේ ගමන් බිමන් යාමට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින විදේශ ගමන් තහනම හරහා තම සේවාදායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් පෙන්වා දුන්නා.

    එබැවින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළ අතර මෙම පෙත්සම් සලකා බැලීම ලබන 27 වන දා සිදු කරන බවක් ද නියෝග කළා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය ලබන 27 දා තෙක් අධිකරණයේ අවසරයකින් නොමැතිව විදේශ ගතවීමක් නොකරන බවටත් දැනටමත් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

    වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

    එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 15 ජූලි 2022 16:42

    Latest News