ආර්ථික අර්බුදය ගැන හිටපු අගමැති මහින්දට එරෙහි පෙත්සමට දින නියම වෙයි

ජූනි 10, 2022

    රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී තීරණ හේතුවෙන් වර්තමානයේ රට තුළ ආර්ථික අර්බුදයක් හා දරාගත නොහැකි උද්ධමනයක් නිර්මාණය කිරීම තුළින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ වරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 4 වනදා කැඳවන ලෙසයි.

    ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තුන්දෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ වත්මන් රජය මෙරට පාලන බලය අත්පත් කර ගන්නා විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමෙරකානු ඩොලර් බිලියන 7.6 ක ට අධික විදේශ සංචිත පැවති බවයි.

    එහෙත් වත්මන් රජය අනුගමනය කළ අදුරදර්ශී ආර්ථික ක්‍රියාකාරකම් සහ සිය හිතවතුන්ට පිරිනමන ලද බදු සහන ඇතුළු විවිධ අදුරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත් නිසා වර්තමානයේ මෙරට ආර්ථිකය බරපතල අර්බුදයකට ලක් වී තිබෙන බවද පෙත්සමෙන් සඳහන් වෙනවා.

    මේ හේතුවෙන් උද්ධමනය ජනතාවට දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බව පවසන පෙත්සම්කරුවන් ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන ආහාර හා අත්‍යාවශ්‍ය සේවාවන් පවා සපයා ගැනීම බරපතල අර්බුදයකට ලක්ව තිබෙන බවයි කියා සිටින්නේ.

    වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ කාර්යක්ෂම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම වාතාවරනය නිර්මාණය වී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් ඔවුන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම ඇමරිකානු ඩොලරය රුපියල් 203 ක මුදලකට පවත්වාගෙන යාමට උත්සාහ කිරීම තුළින් මෙරට ආර්ථිකයට හානි වූ මුදල් හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අයගෙන් අයකර ගන්නා ලෙස ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම රට තුළ නිර්මාණය වී ඇති අයහපත් මූල්‍ය තත්ත්වය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද තවත් ඉල්ලීමක් පෙත්සම තුළින් අයැද තිබෙනවා.

    Latest News