කැළි කසළ ඉවත් කිරීමේ නිරත වන්න පොලිසියට උපදෙස් දී නැහැ... අගැමති කියයි

දෙසැ 01, 2019

    කැළි කසළ ඉවත් කිරීමේ කාර්යයෙහි නිරත වන ලෙස කිසිදු අවස්ථාවක පොලිසියට උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    කැළි කසළ ඉවත් කිරීම පොලිසිය සතු රාජකාරියක් නොවන බවත් ඔවුන් කළ යුත්තේ කැළි කසළ ඉවත් කිරීම නිසි ආකාරව සිදු නොවන්නේ නම් අදාළ ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම යැයි අද (01) මහනුවර දී මාධ්‍ය හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ අභාවයෙන් වසර අටක් පිරිම නිමිත්තෙන් මහනුවර මහයියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍යකර්මයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කියා සිටියේය.

    නගරසභාව, ප්‍රාදේශීය සභාව වැනි පළාත් පාලන ආයතනවල වගකීමක් වන්නේ ප්‍රදේශය පවිත්‍රව තබා ගැනීමයි. එම කාර්යභාරය නිසි ආකාරව සිදුවන්නේ දැයි විමර්ශනය කිරීම පරිසර පොලීසිය සතු වගකීමක් යැයි කී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.........

    හම්බන්තොට වරාය පිළිබඳව යම් තීරණාත්මක එකඟත්වයකට පැමිණීම සඳහා අප එම රජය පිරිස සමග සාකච්ඡා කරමින් සිටිනවා. තානාපති කාර්යාලයේ නිලධාරිනියක අතුරුදහන් වීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ජපන් තානාපති කාර්යාලයේ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමෙන් පසු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගන්න පුළුවන්.

    ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී පක්ෂය සහ ලාංඡනය කුමක්දැයි සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම දානමය පුණ්‍ය කර්මය සඳහා සහභාගීව සිටියහ.

    රාජය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න මහතා, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 18:30

    Latest News